sandhara.lk

Sandhara

මූල්‍යාධාරවලින් ඔබ්බට සමාජ යුක්තිය: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින් “ව්‍යාපාරයක්” ගොඩනගන ආකාරය

මානව හිමිකම් සහ බිස්නස් එකිනෙක ගැළපෙන සංකල්පද? ව්‍යාපෘති ආධාර මුදල් අඩුවීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන් මුහුණ දෙන අභියෝගයක්. එම පසුබිම තුළ, තම මෙහෙවර තිරසර කර ගැනීම සඳහා සමාජ ව්‍යවසායකත්වය වෙත යොමු වෙමින් සිටින මානව හිමිකම් ආරක්ෂකයන් පිළිබඳ කතාවක් තමයි මේ.

ආධාර මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාව විසින් මෙහෙයවන ඔරොත්තු දෙන ව්‍යවසායන් බවට පත් කරගත යුතුව තිබෙනවා. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය “වෘද්ධි” ව්‍යාපෘතිය හරහා සන්ධාර සමාජ ව්‍යවසාය ක්‍රියාත්මක කරන ආකාරය දැනගන්න. ක්‍රියාකාරීන්ගේ සිට ව්‍යවසායකයින් දක්වා අප එන ගමන්මග කියවන්න. සිවිල් නිදහස මෙන්ම ජීවනෝපායන්ද සුරක්ෂිත කිරීම තමයි අපේ අරමුණ.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ රිද්මය තීරණය වූයේ ව්‍යාපෘති චක්‍රය මතයි. අපි ගැටලුවක් හඳුනා ගන්නවා. යෝජනාවක් ලියනවා. අරමුදල් ලබා ගන්නවා. ඉන්පසු අදාළ කාර්යය සිදු කරනවා. එහෙත්, මෙම ක්‍රියාවලිය නැවතුණු විට කුමක් සිදුවනු ඇත්ද?

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය (Right to Life Human Rights Centre – R2L) ලෙස මෙන්ම, අපගේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන (HRFACs) ජාලය පුරාද මෑතකදී දැඩි අර්බුදයකට මුහුණ දීමට අපට සිදු වුණා. මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් ලැබෙන විදේශීය අරමුදල් ක්‍රමයෙන් අඩුවීම, විශේෂයෙන්ම USAID වැනි ආයතනවලින් ලැබුණු ප්‍රධාන සහයෝගිතා මාර්ග අවසන් වීම, හුදෙක් අයවැය පිළිබඳ ගැටලුවක් පමණක් වුණේ නැහැ. එය අපගේ පැවැත්මටම එල්ල වූ තර්ජනයක්.

අපට “තිරසරබව” යනු හුදෙක් ආකර්ෂණීය වචනයක් පමණක් නොවෙයි. බදුල්ලේ නීතිමය ආධාර පතන වධහිංසාවලින් දිවි ගලවා ගත් අයෙකුට මෙන්ම අනුරාධපුරයේ සහන පතන කොන් වූ පවුලකටද එය ජීවත් වීමේ ප්‍රශ්නයක්. සිවිල් අවකාශය හැකිලෙමින් පවතින පසුබිමක, අප තවදුරටත් සම්ප්‍රදායික පරිත්‍යාගශීලීන් මත පමණක් යැපෙන්නේ නම්, අප අපගේ ගොඩනැගිල්ල ඉදිකරමින් සිටින්නේ අස්ථාවර පදනමක් මත බව අපට වැටහුණා.

අපට සුසමාදර්ශීය වෙනසක් හෙවත් පරිපූර්ණ විපර්යාසයක් අවශ්‍ය වුණා. “අපට අරමුදල් සපයන්නේ කවුරුද?” යන්න විමසීම නතර කර, “අපට අප වෙනුවෙන්ම අරමුදල් සපයා ගත හැක්කේ කෙසේද?” යන්න විමසීම ආරම්භ කිරීමට අපට අවශ්‍ය වුණා.

ක්‍රියාකාරීන්ගේ සිට ව්‍යවසායකයින් දක්වා දිශානතිය වෙනස් වීම

සමාජ ව්‍යවසායකත්වය කරා වන අපගේ ගමන් මගේ ආරම්භය මෙය විය. සැබැවින්ම, එය මුලදී අපහසු සංක්‍රාන්තියක් වුණා. රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ සිටින අප බොහෝ දෙනෙකුට, ලාභාංශ, අගය දාම, අලෙවිකරණය වැනි “ව්‍යාපාරික” භාෂාව ආගන්තුක එකක්. ඇතැම් විට එය අපගේ සේවා මෙහෙවරට පටහැනි බවක්ද දැනෙනවා.

එහෙත්, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මෙම සංකල්පය ගැඹුරින් අධ්‍යයනය කිරීමට පටන් ගත් විට, සමාජ ව්‍යවසායකත්වය යනු ජනතාව අභිබවා ලාභය සෙවීමක් නොවන බව අපට අවබෝධ වුණා. එය ජනතාව වෙනුවෙන් ලාභය සෙවීමක්. මානව සහ පාරිසරික යහපැවැත්ම උපරිම කිරීම සඳහා වාණිජ උපාය මාර්ග භාවිතා කරන දෙමුහුන් ආකෘතියක් එයින් ලබා දෙනවා.

එහෙත්, කොළඹ පිහිටි කාර්යාලයක සිට අපට මෙය සැලසුම් කළ නොහැකි වුණා. එබැවින්, අපගේ විශිෂ්ටතම සම්පත වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ජාලය වෙත අපි යොමු වුණා.

බිම් මට්ටමේ ප්‍රඥාව

මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානවල සම්බන්ධීකාරකවරුන්ට මේ පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලබා දුන් විට, ඔවුන් පසුබට වනු ඇතැයි අපි අපේක්ෂා කළා. එහෙත්, ඒ වෙනුවට අපට නවෝත්පාදනයන් දැකගත හැකි වීම අපව දිරිගැන්වූ කාරණයක්.

ජාතික මට්ටමින් අරමුදල් පිළිබඳව අප කනස්සල්ලට පත්ව සිටියදී, බිම් මට්ටමේ අපගේ මානව හිමිකම් ආරක්ෂකයෝ ඒ වන විටත් තම ප්‍රජාවන්ගේ ආර්ථික යථාර්ථයන් සමඟ කටයුතු කරමින් සිටියා. ඔවුහු ක්ෂුද්‍ර ව්‍යවසායකයින්, කුඩා පරිමාණ ගොවීන් සහ කාන්තාවන් මූලික කරගත් පවුල් සමඟ වැඩ කරමින් සිටියා. එම පිරිස සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව, ආර්ථික පැවැත්ම වෙනුවෙන්ද සටන් කරමින් සිටියා.

මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන විසින් නිර්මාණාත්මක අදහස් සම්භාරයක් ඉදිරිපත් කරන ලදී. අප ආරක්ෂා කරන ප්‍රජාවන්ද දේශීය හස්ත කර්මාන්ත, සාම්ප්‍රදායික ආහාර සහ ආචාරධාර්මික නිෂ්පාදන බිහිකරන නිෂ්පාදකයින් බව ඔවුහු අවධාරණය කළා. මානව හිමිකම් වෙනුවෙන් කරන අරගලය සහ ආර්ථික අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගලය යනු වෙනස් සටන් දෙකක් නොවන බව ඔවුහු අපට පෙන්වා දුන්නා. ඒවා එකම කාසියේ දෙපැත්තයි.

සන්ධාර” හඳුන්වාදීම: ඔරොත්තු දීමේ හැකියාව සඳහා වූ ආකෘතියක්

මෙම උපදෙස් විමසීමේ ක්‍රියාවලිය හරහා, ‘සිවිල් ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීම: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා සමාජ ව්‍යවසායකත්වය’ යන ව්‍යාපෘතිය බිහි වුණා. එය දැනට UNOPS ආයතනයේ සහාය ලබන මුලපිරීමක්. සිවිල් ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් මෙය අපගේ නිර්භීත අත්හදා බැලීමයි.

මෙම ව්‍යාපෘතිය හරහා, අපි සාම්ප්‍රදායික මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ආකෘතිය පරිවර්තනය කරමින් සිටිනවා. මෙම මධ්‍යස්ථාන, මානව හිමිකම් සහ ආර්ථික සවිබල ගැන්වීමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරන ව්‍යුහයක් කරා අපි ගමන් කරමින් සිටිනවා. මෙහි දැක්ම සරල වුවත් එය විප්ලවීය වෙනසක්:

  • ශක්‍යතා (Capacity) වර්ධනය: ව්‍යාපාරික අදහස් ජනනය කිරීම, මූලාකෘති (prototype) සැකසීම සහ කළමනාකරණය පිළිබඳව අපි අපගේ මානව හිමිකම් ආරක්ෂකයින් පුහුණු කරමින් සිටිනවා.
  • වෙළඳපොළ ප්‍රවේශය: ග්‍රාමීය නිෂ්පාදකයින් නාගරික පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ කිරීම සඳහා, අපගේ කොළඹ කාර්යාලයේ මධ්‍යගත ආචාරධාර්මික සිල්ලර සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් වන “සන්ධාර” නමින් මධ්‍යස්ථානයක් අපි නිර්මාණය කරමින් සිටිනවා.
  • යළි ආයෝජනය කිරීම: මෙම සමාජ ව්‍යවසායයන් මගින් උපයන ආදායම නැවත සංවිධානය වෙත ගලා එනු ඇති. ඒ හරහා නීති ආධාර සැපයීම, ලේඛනගත කිරීම සහ වින්දිතයින්ට සහාය වීම වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා අරමුදල් සම්පාදනය කරනවා.

අප සිටින්නේ දුෂ්කර ඉගෙනුම් වක්‍රයක ආරම්භයේයි. ව්‍යාපෘතියක් පවත්වාගෙන යාමට වඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා වෙනස් ආකාරයක ශික්ෂණයක් අවශ්‍ය බව අප අවබෝධ කරගෙන තිබෙනවා. එහිදී අවදානම්, වෙළඳපොළ උච්චාවචනයන් සහ අසාර්ථකවීම් ඇති විය හැකියි. එහෙත්, අපගේ මධ්‍යස්ථාන වැසී යද්දී ඊළඟ මූල්‍යාධාරය ලැබෙන තුරු බලා සිටිමින් කිසිවක් නොකර සිටීමේ අවදානම ඊට වඩා විශාලයි.

මෙය හුදෙක් ව්‍යාපාර සැලැස්මක් පමණක් නොවේ. එය අපගේ නව ප්‍රතිරෝධයයි.

Read in English

Scroll to Top